අලුත් උන Yamaha FZ Version 3.0 ABS ගැන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, June 23, 2019

අලුත් උන Yamaha FZ Version 3.0 ABS ගැන සිංහලෙන්




අද මාතෘකාව මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන යතුරුපැදිය Yamaha FZ-S Version 3.0...

FZ කියන නම මේ වෙනකොට යතුරුපැදි අතර නිතරම කියවෙන නමක් පෙනුම, ඉන්ධන කාර්යක්ශමතාව, යමහා සන්නාම වගේ කාරණා නිසා වැඩි ඉල්ලීමක් ඇති මෙකි යතුරුපැදිය මීට වසර 11කට එහා දී Yamaha FZ16 යතුරුපැදිය ද ඉන් පසුව 2014 දී Version 2.0 EFI ද 2018 දී FZ Anniversary මාදිලිය ද මීට නොබෝ දිනකට පෙර FZ Version 3.0 ABS ද ලෙසට කරළියට එක් වුනි.

පෙනුමින්, තාක්ෂණය අතින් සහ තවත් සුලු සුලු වෙනස්කම් රාශියක් සමඟ කරළියට ආ FZ හී Version 3 පිලිබඳව ගැන ලිපිය සුපුරුදු ලෙස එන්ජිමෙන් ආරම්භ කරමු.

149cc තනි සිලින්ඩර Four Stroke, SOHC එන්ජිමකින් බල ගැන්වෙන මේ යතුරුපැදිය අශ්වබල 13.1කින් පැයට කිලෝමීටර් 130කට ආසන්න වේගයක් ලබා දීමට ඉඩ සලසනවා.
නවතම Version 3.0 හී පෙර වූ එන්ජිමම අන්තර්ගත වූවද අලුතෙන් සිතියම් ගත කරන ලද ECU එකක් ඇති නිසා පෙර මාදිලියට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් මෙම යතුරුපැදිය සතු අතරම තත්පර 16කින් පමණ පැයට කිලෝමීටර් 100ක වේගය ලඟා කර ගැනීමට හැකියාවක් පවතිනවා. එය පෙර මාදිලියට සාපේක්ෂව තත්පර 4ක පමණ කාලය අඩු වීමක්.

තවමත් මෙහි සිසිලන පද්ධතිය පෙර මෙන්ම වායු සිසිලන ආකාරයට ඇති නිසා සිසිල පද්ධතියට අමතර නඩත්තු වියදමක් දැරීමට අවශ්‍ය නොවන නමුත් එක් පසෙකින් KTM Duke 125, Yamaha MT15 වැනි යතුරුපැදි ද්‍රව සිසිලන පද්ධති යොදා ගද්දි මේ යතුරුපැදිය අවම වශයෙන් RTR 160 4V හා NS 160 මෙන් ඔයිල් සිසිලන පද්ධතියක් වත් යොදා ගත්තා නම් වඩා හොඳ බව හැගේ. නමුත් නිශ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ පියවරක් ලෙස යමහා මෙය සිදු කර ඇති බවට පෙනි යන අතරම මෙම වායු සිසිලන පද්ධතිය සහ ඒ ආශ්‍රිතව එන්ජිම හරහා වාතාශ්‍රය ගලා යෑමට සකසා ඇති කොටස් නිසා අදාල කාණ්ඩයේ අනෙකුත් වායු සිසිලන එන්ජින් ඇති Hornet 160 සහ Gixxer 155 යතුරුපැදි වලට සාපේක්ෂව ඉක්මනින් එන්ජිම සිසිල් කර ගැනීමටත් උෂ්ණත්වය පාලනය කර ගැනීමටත් FZ V3 සමත් වනවා.

ඉන්ධන සැපයුම පෙර මෙන්ම EFI ( Electronic Fuel Injection) තාක්ෂණය හරහා සිදු වන මෙම යතුරුපැදියේ පෙර මාදිලියට වඩා වැඩි හොඳ Throttle Response එකක් එසේ නැතිනම් "පිකප් එකක්" අත් විඳිය හැකි අතර මීට හේතුව නවතම ECU සිතියම සහ ඒ හරහා සිදු වන නව ඉන්ධන විදුම් රටාවයි. තවද අදාල කාණ්ඩයේ ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති යතුරුපැදික් ලෙසට සැලකෙන FZ ආසන්න වශයෙන් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 45 - 50 අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනවා. මෙය ධාවනය කරන මාර්ග සහ යතුරුපැදි නඩත්තු තත්වය මෙන්ම ධාවනය කරනා ආකාරය මත වෙනස් විය හැකියි.

මෙහි නවතම පෙනුම ගැන අවධානය යොමු කලොත් MT පවුලේ ආභාශය සහ තම සහෝදර FZ 250 හී ආභාශය ලබා ඇති බව පෙනී යන අතර. වැඩි එලියක් සහිත නවතම LED Head Lights, නවතම Negative පන්නයේ Digital Meter පද්ධතිය මෙහි පෙනුමට විශාල උපකාරයක් කර ඇති බවට පෙනී යනවා. 

එමෙන්ම වා කවුලු සහිත විශාල ටැංකිය, නව වර්ණ රටා යතුරුපැදියට නැවුම් බවක් ලබා දී තිබෙනවා. Foot Pegs, Handle Bar වැනි කොටස් වල පිහිටිම වැඩි වෙනසක් නැති අතරම ධාවනය කිරීමේදි V2 හා V3 අතර වෙනසක් නැති තරම්. කෙසේ වෙතත් පෙර වූ වෙන් කල ආසනය වෙනුවට මෙවර තනි ආසනයක් යතුරුපැදියට යොදාගෙන ඇති Yamaha වැඩි සුවපහසුවක් ධාවකයා හා මගියා යන දෙපාර්ශවයටම ලබා දී තිබෙනවා. 
නමුත් මෙමගින් යම් තරමක් යතුරුපැදියෙහි පෙනුමට හානියක් වී ඇති බව පෙනී යනවා.

මෙහි සැකිල්ල එසේ නැති නම් Chassis එක ද අලුතෙන්ම නිමවා ඇති Yamaha දෙදරීම් අවම කර යතුරුපැදිය තවත් හොඳින් හැසිරවිම පහසු වෙන ලෙසට Sub Frame එක ද නිමවා තිබෙනවා. මෙහි මුලු බර පෙර මාදිලියට වඩා කිලෝ 5කින් පමණ වැඩි වී ඇති අතර නව ස්කන්ධය කිලෝග්‍රෑම් 137ක් ලෙසට සටහන් වනවා. එමෙන්ම මෙහි Seat Height සහ Ground Clearance පිලිවෙලින් 790mm සහ 165mm ලෙස සටහන් වනවා. මේ නිසා ඕනෑම උසක අයෙකුට මෙම යතුරුපැදිය පහසුවෙන් හැසිරවීමේ හැකියාව ලැබි තිබෙනවා.

FZ Version 3.0 හී මිටර් පද්ධතියෙහි Speed, RPM, Time, Trip, ODO වැනි අංග පෙන්නුම් පෙර මාදිලියේ මෙන්ම මේ V3 මාදිලියේද Gear Position Indicator එකක් අඩංගු වන්නේ නැහැ.

නවතම V3 හී ලීටර 12.8ක ඉන්ධන ටැංකියක් ඇති අතර මෙහි ධාරිතාවය V2 මාදිලියට වඩා පෙට්‍රල් මිලි ලීටර 800කින් ඉහල දමා තිබෙනවා. මෙයද ඉතා හොඳ අංගයක් ලෙස පෙන්වා දිය හැකියි.

පෙර මෙන්ම වේග 5ක ගියර් පද්ධතියක් අන්තර්ගත මෙම යතුරුපැදියෙහි ගියර් ඉහල පහල කිරීමද ඉතාම පහසු සහ සුමටව ඇති බව ධාවනය කිරිමේදි ධාවකයා හට පහසුවෙන් වැටහේ.

Suspension දෙසට අවධානය යොමු කලොත් පෙර මාදිලියේ ම වූ එම Suspension පද්ධතියම මෙවරද යොදාගෙන ඇති අතර ඉදිරිපස 41mm Telescopic Forks සහ පසුපස සීරූමාරු කල හැකි Mono shock එකක් අඩංගු වනවා. Suspension ද ධාවකයා හා මගියා යන දෙදෙනාටම සුවපහසුව සලසන ලෙස නිමවා ඇති බව දැකගත හැකියි.

මෙහි තවත් නවතම අංගයක් ලෙස ABS සමඟ එන තිරිංග පද්ධතිය පෙන්වා දිය හැකියි. ඉදිරිපස 282mm සාමාන්‍ය Disk එකක් ද පසුපස 220mm සාමාන්‍ය Disk එකක් ද යොදා ඇති අතර මෙහි බ්‍රෙක් කැලිපර Bybre සන්නාමයෙන් එන කැලිපරය.තවද පෙර කී ලෙස මෙහි ඉදිරිපස ABS  අඩංගු වන අතර පසුපස ABS අන්තර්ගත නොවේ.

එමෙන්ම Duke 125, RS200, NS200 වැනි යතුරුපැදි වල මෙන් Rear Wheel Lift-off protection වැනි ආරක්ෂක උපායවල් ද නොමැත. නමුත් මෙරට ඉතාම අල්ප වශයෙන් ඇති ABS යතුරුපැදි ගොඩට එකතු වෙන මෙම යතුරුපැදිය ABS නොමැති යතුරුපැදියකට වඩා වැඩි ආරක්ෂාකාරී තිරිංග යෙදීමකට ධාවකයාට ඉඩ සලසනවා.

Tyre දෙසට අවධානය යොමු කලොත් ඉදිරිපස 100/80-17M/C (52P) ටියුබ් රහිත ටයර් එකක් ද පසුපස පුලුල් 140/60-R17M/C ප්‍රමාණයෙන් ටියුබ් රහිත ටයර් එකක් ද යොදා ඇති අතර මේ නිසා යතුරුපැදියට වඩා හොඳ පෙනුමක් මෙන්ම ඉහල වේගයන් හී ස්ථාවරබාවයක් සහ වංගු ගැනිමේදි වැඩි ආරක්ෂාවක් ලබා දෙනවා.

අවසාන වශයෙන් මෙම යතුරුපැදි ගැන සටහනක් තැබුවහොත් නැවතත් 150 කාණ්ඩයේ මිල අධිකම යතුරුපැදිය ලෙසට නම් වුන Yamaha FZ Version 3.0 යතුරුපැදිය ඔබ මිලට ගත යුත්තේ ඇයි කියා ඇසුවහොත්. නවතම පෙනුම, ඉන්ධන කාර්යක්ෂමතාව, යමහා සන්නාමය, වඩා ආරක්ෂාකාරි ABS තිරිංග පද්ධතිය , නැවත විකිනීමේදි ඇති ඉහල ඉල්ලිම වැනි විශේෂාංග පෙන්වා දිය හැකියි.

ඇයි මෙය නොගත යුත්තේ කියා ඇසුවහොත් අදාල කාණ්ඩයේ බලය අඩුම එන්ජිම, මිල අධිකම අමතර කොටස් ඇති යතුරුපැදිය වැනි සාධක පෙන්වා දිය හැකියි. නමුත් සුපුරුදු පරිදි තීරණය ඔබ සතුයි. මෙහි මිල ගනන් FZ Version 3.0 ABS 447,900 ලෙසත් FZ - S Version 3.0 479,900 ලෙසටත් සටහන් වනවා.

යතුරුපැදිය ගැන අදහසක් පහත ඇති ඡායාරූප නරඹා ලබා ගන්න. ගැටලු වෙතොත් අප FB ගිණුම හා සම්බන්ද වන්න.

මෙම මිල ගනන් දැණුම්දිමකින් තොරව වෙනස් විය හැකියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.













Wandi - වණ්ඩි©



3 comments:

  1. HAndle bar එක v2 එකට වඩා වෙනස්, උස්සල තියෙන්නෙ. ඒක නිසා v3 එක පහසුයි පදිද්දි දුර යද්දි එහෙම.
    130kmph යන්න බෑ. 120kmph පුලුවන්.
    100kmph යන්න තප්පර 16ක් යන්නෙ නෑ 14.30s යන්නෙ.
    V2 එට වඩා තෙල් කරනව අඩුයි වගේ 45kmpl average

    ReplyDelete